Saturday, June 5, 2010

බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ‍්‍රද්ධාවබුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ‍්‍රද්ධාව

බෞද්ධ දර්ශනය තුළ ශ‍්‍රද්ධාවට හිමිවන්නේ ප‍්‍රධාන ස්ථානයකි. ආර්ය මාර්ගයෙහි අවංකව ගමන් කරන පුද්ගලයා ළඟ තිබිය යුතු වැදගත්ම අංගය ශ‍්‍රද්ධාවයි. ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, දේශනා කරන ලද සාමයික, ආර්ථික, දේශපාලනික, හා සාමාජික දර්ශනය පිළිබඳව අවංකවූද අචල වූ ද විශ්වාසයක් ඇතිකර ගැනීම තුළින් භය හා වෛරය නැතිකොට සැපසේ ජීවත්විය හැකි බව දක්වයි.

සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයෙහි එන පඤ්චභයවෙර සූත‍්‍රය මේ සඳහා ගත හැකි මූලාශ‍්‍රයකි. එහි සඳහන් කරන පරිදි බුදුරජාණන්වහන්සේ, ධර්මය, සංඝරත්නය හා අරියකන්ත ශීලය නම් වූ ආජීව අථඨමක සීලය පිළිබඳව යමෙකු තුළ අචල විශ්වාසයක් ඇතිවන්නේ නම් ඔහු භය සහ වෛරය පහකොට දෙලොව ජයගන්නා බවයි.

‘ඉධ ගහපති අරියසාවකො බුදේධ අවෙච්චඝසාදෙන සමනනාගතො හොති’ යනුවෙන් සඳහන් කරන්නේ එම අචල ශ‍්‍රද්ධාවයි.

ශ‍්‍රද්ධාව පිළිබඳව සඳහන් කරන ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය නිර්වචනය කරන්නේ Faith යන වචනයෙන් පූර්ණ විශ්වාසය, තර්කානුකූල ඔප්පුකිරීමෙන් තොර දැඩි විශ්වාසය යන අර්ථ දෙන බවයි. නමුත් බුදුදහමේ එන ශ‍්‍රද්ධාව ඉහතකී අර්ථයට වඩා වෙනස්ය. නිවැරදිව පිරික්සීමෙන් නිවැරදිව තීරණය ගැනීමෙන් ඇති කරගනු ලබන විශ්වාසය බුදුදහම උගන්වන ශ‍්‍රද්ධාවයි. ඉහත කී ශ‍්‍රද්ධාව කිසියම් ප‍්‍රබල පුරුෂයෙකුට ඇති බිය මත පදනම්වූවකි. බුදුදහමේ එන ශ‍්‍රද්ධාව මැදහත්ව සිතා අවබෝධයෙන් ඇතිකර ගත යුත්තකි.

අප කථා කරන ශ‍්‍රද්ධාවේ ප‍්‍රභේද දෙකක් දක්නට ලැබේ. අමූලික ශ‍්‍රද්ධා ආකාරවතී ශ‍්‍රද්ධා යනු ඒ ක‍්‍රම දෙකයි. මජමනිකායේ චංකී සූත‍්‍රය සඳහන් කරන පරිදි යමක් පිළිබඳව හෝ යමෙක් පිළිබඳව පරපුරෙන් පැවත ආ මතයට අනුව ඇති කරගනු ලබන විශ්වාසය අමූලික ශ‍්‍රද්ධාව නම්වේ. එය අන්‍ධයින්ගේ පෙරහැරකට සමානකර තිබේ. අන්‍ධ පෙරහැරේ මුලින් යන්නාට ද, මැදින් යන්නාට ද, අගින් යන්නාට ද නොපෙනේ. නමුත් ඔවුන් පරපුරෙන් ආ මතයෙහි තදින් එළ්බගෙන සිටී. මහා බ‍්‍රහ්මයා පිළිබඳ අදහස එවැන්නකි.

යමක් පිළිබඳව හෝ යමෙක් පිළිබඳව අන්තවාදී නිගමනවලින් තොරව මධ්‍යස්ථ ආකල්ප පෙරදැරිකරගෙන ඇතිකරගනු ලබන විශ්වාසය ආකාරවතී ශ‍්‍රද්ධාවයි. මක්‍ධිම නිකායේ වීමංසක සූත‍්‍රය සඳහන් කරන පරිදි තථාගතයන් වහන්සේ පිළිබඳව පදයෙන් පදය සොයා බලා ඇතිකරගනු ලබන විශ්වාසය දර්ශනය මුල් කොටගෙන ඇති වන අචල ශ‍්‍රද්ධාවකි. එම විශ්වාසය කිසිම දෙවියෙකුට හෝ බඹෙකුට හෝ මාරයෙකුට හෝ වෙනස් කළ නොහැක. කරුණු ඇති සැටියෙන්ම සොයා බලා තමන්ම තීරණයකට එළඹ ඇති කරගනු ලබන ආකාරවතී ශ‍්‍රද්ධාව පුද්ගලයාගේ දෙලොව දියුණුව ඇතිකරලයි.

සංයුක්ත නිකායේ පඤචභයවෙර සූත‍්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිකරගනු ලබන අචල ශ‍්‍රද්ධාව ඔහුගේ දෙලොව දියුණුව ඇතිකරවන බව දක්වයි. “ගෘහපතිය යම් ආර්ය ශ‍්‍රාවකයෙක් තථාගතයන් වහන්සේ තුළ පවත්නා අරහං ආදී නව ගුණය පිළිබඳව විශ්වාසයක් ඇතිකරගන්නේ නම් බියෙන් හා වෛරයෙන් තොරව ජීවත් විය හැක” යනුවෙන් දක්වයි.

භාරතීය සමාජය තුළ බුදුරජාණන් වහන්සේගේ නව ගුණය පිළිබඳ කීර්ති ශබ්දය ඉතා ඉහළට පැන නැගී තිබුණි. එම කීර්ති ශබ්දය ඇසුනේ බෞද්ධයින්ට පමණක් නොවේ. අන්‍ය ආගමික බමුණන්ද එම කීර්ති ශබ්දය විශ්වාස කොට ජීවිතය ජයග‍්‍රහණය කර ගත්හ.

මජ්ජිම නිකායේ බ‍්‍රාහ්මණ වර්ගයේ එන බ‍්‍රහමායු සූත‍්‍රය ඊට හොඳ නිදසුනකි. බ‍්‍රහමායු බමුණා බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුනේ තථාගතයන් වහන්සේ තුළ පැවැති යථාවාදී තථාකාරී ගුණය ඉතා හොඳින් පරීක්‍ෂාකර අවබෝධ කරගත් නිසාය. එහිදී බුදුරජාණන් වහන්සේ බමුණාට තමන් හඳුන්වා දුන්නේ මෙසේය. “බ‍්‍රාහ්මණය මම දතයුතු සියල්ල දැනගතිමි. වැඩිය යුතු සියලු ගුණධර්ම වැඩුවෙමි. ප‍්‍රහාණය කළ යුතු සියල්ල මම ප‍්‍රහාණය කළෙමි. ඒ නිසා මට බුද්ධ යනුවෙන් හැදින්වීම සුදුසුය.” එම බුදුගුණය පිළිබඳව අචල ශ‍්‍රද්ධාවක් ඇතිකරගත් බ‍්‍රහ්මායු බමුණා ද බුදු සව්වෙකු බවට පත්වී තම ජීවිතය සාර්ථක කරගත්හ.

මාතර ශී‍්‍ර සුදර්ශි විද්‍යායතන පරිවෙනාධිපති

කපුගම සුගතසාර හිමි

මජ්ජිම නිකායේ කීටාගිරි සූත‍්‍රය සඳහන්කරන පරිදි ඉහත සඳහන් කරන ලද ආකාරවතී ශ‍්‍රද්ධාව ඇති පුද්ගලයා එම හේතුවෙන් විමුක්තිය සලසා ගන්නා ආකාරය හේතුඵල සම්බන්ධයකට අනුව විස්තර කරයි. “තථාගතයන් වහන්සේ පිළිබඳ ශ‍්‍රද්ධාව ඇති පුද්ගලයා බුදුන් වහන්සේ වෙත එළඹෙයි. පැමිණ සමීපයෙහි හිඳගෙන කන් යොමු කරයි. යොමු වූ කන් ඇත්තේ බණ අසයි. අසන බණ සිත්හි ධාරණය කරගනී. සිතෙහි ධාරණය කරගත් ධර්මයෙහි අර්ථ පරීක්‍ෂා කරයි. අර්ථ පරීක්‍ෂා කිරීම නිසා ධර්මය අවබෝධ කරගෙන භයෙන් හා වෛරයෙන් මිදී සිත නිදහස් කරගනී. මින් උගන්වන්නේ බුදුන් වහන්සේ කෙරෙහි ඇති වන ශ‍්‍රද්ධාවේ ප‍්‍රායෝගික ප‍්‍රතිඵල යයි.

ඉහත සඳහන් කරන ලද අචල ශ‍්‍රද්ධාව ඇති පුද්ගලයා මෙසේ සිතයි. තථාගයන් වහන්සේ සියලු පව් දුරු කළ සියලු දේට සුදුසු මනා පෞරුෂයක් ඇති උත්තමයෙකි. (අරහං) චතුරාර්ය සත්‍ය මැනවින් දැන අනුන්ට අවබෝධ කළ උතුමෙකි. (සම්මා සම්බුද්ධො) දැනුමට අනුව හැසිරීම ඇති අයෙකි. (විජ්ජා චරණ සම්පන්නෝ) මනා ඉරියව් පැවැත්මක් හා මනා තැනකට (නිවනට) මැනවින් ගිය උතුමෙකි (සුගතො) ආධ්‍යාත්මික හා බාහිර ලෝතතු මැනවින් දත්හ (ලෝකවිදූ) දමනය කළ යුතු අය දමනය කිරීමෙහි අපූර්ව හැකියාවක් ඇති අයෙකි.

(පුරිස දම්ම සාරථී) දෙවියන්ට හා මිනිසුන්ට ගුරුවරයෙකු වූ සේක (සත්‍ථා දේව මනුස්සානං) දතයුතු සියල්ල මැනවින් අවබෝධ කළ උතුමෙකි (බුද්ධො) සියලු ලෞකික හා ලෝකෝත්තර සැපයට භාග්‍යවන්තයෙකි. (භගවා) මේ ගුණ නවය පිළිබඳව යමෙකුට අචල විශ්වාසයක් අතිවන්නේ නම් එය අවෙච්චප්පසාද යනුවෙන් හඳුන්වයි. එම බුද්ධානුස්සතිය තුළින් ඔහුට තම සිත නිවා දමා සැනසීමට පත්විය හැක.

ආර්ය මාර්ගය තුළ ගමන් කරන පුද්ගලයා සෝවාන් ඵලයට පැමිණිවිට සක්කාය දිට්ඨි – විචිකිච්ඡා, සීලබ්බත පරමාස, යන සංයෝජන ධර්ම තුන නැති කරයි. සෝවාන් ඵලයට පත්වනවාය කියන්නේ තථාගතයන් වහන්සේ පිළිබඳ අචල ශ‍්‍රද්ධාවක් ඇතිවන බවයි. අවෙච්චප්පසාද යනුවෙන් හැදින්වෙන එම ශ‍්‍රද්ධාව කවරෙකුටවත් වෙනස් කළ නොහැක. එම අචල ශ‍්‍රද්ධාව අවසන් වන්නේ ප‍්‍රඥා ප‍්‍රතිලාභයෙනි.

නමුත් නූතනයෙහි සමහරු තථාගතයන් වහන්සේ පිළිබඳ සැක පහල කරනු පෙනේ. ඊට හේතුව ඔවුන් තුළ අචල ශ‍්‍රද්ධාවක් නොමැති කමයි. භෞතික විද්‍යාඥයින් භෞතික පදාර්ථයක් බෙදා අන්තිමට බෙදිය නොහැකිවූ පරමාණූව දැක එය ස්ථිර බව කීහ. නමුත් තථාගතයන් වහන්සේ ප‍්‍රථම ධර්ම දේශණයේදී හේතුප‍්‍රත්‍ය තුළින් ඇති වන සියල්ල නැති වන බව දේශනා කළහ. (යං කිඤචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං) මේ විශ්ව සාධාරණ අනිත්‍යතාව දේශනා කොට බුදුන් වහන්සේ අභීත සිංහනාදයක් කළ සේක. මහණෙනි මම අද බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි හඳගෙන ධර්මය නැමති චක‍්‍රය පෙරලුවෙමි. එය අනෙක් පැත්තට පෙරලීමට මෙලොව සිටිනා කිසිම ජගතෙකුට නොහැකිය.

නමුත් ස්ථිරවූ පරමාණුව සොයා ගැනීම නිසා එම රෝදය අනෙක් පැත්තට පෙරලීමට භෞතික විද්‍යාඥයින් ඉදිරිපත් විය. මෙහිදී සමහරු කලබලවී හදිසි තීරණ ගෙන බුදුන්වහන්සේ ගැන සැක පහළ කළහ. නමුත් විද්‍යාඥයින් තව දුරටත් පරීක්‍ෂණ කොට පරමාණුව බිඳීය හැකි බව ප‍්‍රකාශ කළ විට බුදුන් වහන්සේ දේශනා කළ විශ්ව සාධාරණ අනිත්‍යතාවය ලෝකයා හඳුනා ගත්හ.

නූතන සමාජයේ බොහෝ දෙනා මුදලට මුල්තැන දෙමින් සාරධර්මවලට දෙවන තැන දෙන බව පෙනේ. තථාගතයන් වහන්සේ දේශනා කළ පංචශීලය නැමති සදාචාරය අද සමහරු දකින්නේ දුරාචාරය හැටියටයි. තමාගේ අධිවේගී දියුණුව වලකාලන ප‍්‍රතිපත්ති 5 හැටියට දකින්නේ බුදුන් වහන්සේ පිළිබඳ ස්ථිර ශ‍්‍රද්ධාවක් නැති නිසාය.

සර්ව ආගමික සංකල්ප නැමති මායාවලට හසුවී සියලු ආගම් එකයි කියන තත්ත්වයට වැටීතිබෙන්නේ බුදුන්වහන්සේ හරිහැටි හඳුනා නොගැනීම නිසාය. ඉහත කී මානව අයිතිවාසිකම් 5 පිළිබඳව විශ්වාස කරන්නේනම් සියලු සැපසම්පත් උදාවන්නේය යන විශ්වාසය යමෙකුට ඇත්නම් ශ‍්‍රද්ධාවේ ප‍්‍රායෝගික අර්ථය ලෝකයට හදුනාගත හැකිය.

බුදුරජාණන් වහන්සේ පිළිබඳ අචල ශ‍්‍රද්ධාව ඇති අය චාම් සරළ ජීවිත ගත කරනු පෙනේ. නමුත් ඒ ධර්මය පිළිබඳ විශ්වාසය නැති අය අධික බලාපොරොත්තු ඇතිව කටයුතු කොට තම ජීවිතය අසාර්ථක කර ගනී. ගිහි සමාජයට අදාළ සැප ගැන උගන්වන තැන කුඩා හෝ මහත් ණයක් නැතිව ජීවත්වීම සැපතක් ලෙස දක්වා ඇත. ඒ දේශනාව කළ තථාගතයන් වහන්සේ පිළිබඳ විශ්වාසය නැති අය කියන්නේ විවෘත ආර්ථිකය තුළ ණය නොවී ජීවිත්විය නොහැකි බවයි.

අද අපේ රට අරගෙන බැලුවොත් පරම්පරා ගනනකට පිටරටවලට ණයවී තිබේ. ඇමරිකානු ආර්ථිකය බිඳ වැටී තිබෙන්නේ ද මේ නිසාය. මේ සියලු දේටම හේතුව බුදුන්වහන්සේ පිළිබඳ විශ්වාසය නැති කමයි. නමුත් චාම් සරළ ජීවිත ගතකරමින් ණය නොවී සතුටින් ජීවත්වන පිරිසක් ද මේ සමාජය තුළ ඇත. ඔවුන් බුදුන් වහන්සේ දේශනා කළ සරළ ජීවිතය විශ්වාස කරන පිරිසය.

බුද්ධ වචනය විශ්වාස කරන අය තමන්ට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් වන කෑම් බීම්, ඇඳුම් පැලඳුම්, ඉදුම් හිටුම් සහ බේත් හේත්වලින් සතුටුවී ජීවත් වන බව පෙනේ. ඒ වචනය විශ්වාස නොකරන අය සරළ ජීවිතයෙන් සමුගෙන අනවශ්‍ය උපකරණ ගොඩකට මැදිවී අසහනයෙන් ජීවත්වන අතර වෙනත් ආගමික නායකයින් සරණයමින් කි‍්‍රයා කරති. සර්ව ආගමික සංකල්ප බිහිකරගෙන බුද්ධ ප‍්‍රතිමාව අසල වෙනත් ආගමික නායකයින් තබාගෙන ඇත්තේ ඒ නිසාය.

බුදුන්වහන්සේ දේශනා කළ කාම – ව්‍යාපාද – හිංසා යන අසාර ධර්ම අද බොහෝදෙනාට පෙනෙන්නේ සාරධර්ම ලෙසයි. ඒ තුළින් බොහෝ දෙනා තම ජීවිත අසාර කරගෙන ජීවත්වනු පෙනේ. නමුත් තථාගතයන් වහන්සේ දේශනාකළ නෙක්‍ඛඑම අව්‍යාපාද – අවිහිංසා සංකල්ප ඉතා ගරුකොට සලකමින් තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනය විශ්වාස කරන අය දෙලොවින්ම සැනසීම උදාකර ගනිති. ඒ නිසා බුදුන්වහන්සේ පිළිබඳ අචල ශ‍්‍රද්ධාවක් අති කර ගෙන අපේ කායික හා මානසික සහනය උදාකර ගැනීම සියලු දෙනාගේ වගකීම හා යුතුකම වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම

No comments:

Post a Comment

Free HTML Blog 4u